දසුන් හා මැතිවුස් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

දසුන් ශානකගේ තුන් ඉරියව් දක්ෂතාවයත්, ඇන්ජලෝ මැතිවුස්ගේ විශිෂ්ට පිතිහරඹයත් හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 122ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 31 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය තරග 3-0 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 295ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 36 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 172ක් පමණි.

බංග්ලාදේශ ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක තමීම් ඉක්බාල් සහ එනමල් හක්ට පිටියේ ස්ථාවර වීමට අවස්ථාව ලබා නොදුන් කසුන් රාජිත ලකුණු 29ක් තුළදී දෙදෙනාම යළිත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.

කසුන් රාජිත ලබාගත් සාර්ථක ආරම්භයට, අනගි සහයක් ලබාදුන් දසුන් ශානක බංග්ලදේශ මැදපෙළ සුනු විසුළු කරමින් බංග්ලදේශයේ මුෂ්ෆිකර් රහීම්, මොහොමඩ් මිතුම් හා මහමදුල්ලා යළිත් ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත් කළේය. ලැබුණු අවස්ථාවෙන් හිතේ හැටියට ප්‍රයෝජන ගත් දසුන් ශානක සියල්ලන්ටම තමන්ගේ පිත්තේ හා පන්දුවේ තරම කියා දීමට කටයුතු කළේය.

බංග්ලාදේශ ඉනිමේ එකාපිට එකා දැවී යද්දී, තරමක් හෝ බංග්ලදේශ කණ්ඩායමේ නම්බුව ආරක්ෂාකර ගත් සෞම්‍ය සකර් ලකුණු 69ක් රැස් කිරීමට සමත් වූයේ ඉනිමේ වැ ඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

විශිෂ්ට පන්දු යැවීමකනිරත වූ දසුන් ශානක ලකුණු 27කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් කසුන් රාජිත හා ලහිරු කුමාර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

මෙවර තරගාවලිය ආරම්භ වීමට පෙරාතුවම ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ  නුවන් කුලසේකර සමගින් එකටම එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තරගයක් ලබාදෙන ලෙසයි. නමුත් එය  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොතිබීම හේතුවෙන් පළමු එක්දින තරගය අවසානයේ ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදුන්නේය. ඒ අනුව නුවන් කුලසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන්කළ සේවය වෙනුවෙන් අවසන් එක්දින තරගය ඔහු නමින් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. තරගය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ කෙසේ හෝ නුවන් කුලසේකර වෙනුවෙන් අවසන් තරගය ජය ගැනීම ඔවුන්ගේ එකම අරමුණ බවයි. එය අකුරටම ඉටුකළ නායක දිමුත් ප්‍රමඛ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 122කින් පරාජය කිරීමට සමත් වූයේ නුවන් කුලසේකරට ජයග්‍රාහී අවසානයක් ලබා දෙමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් රැස් කිරීමට සමත් විය.

සිය එක්දින ක්‍රිකට් පිටියේ 40 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැත්වුස් පන්දු 90 කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමගින්  ලකුණු87 රැස් කිරීමට සමත් විය. 42 වැනි පන්දුවාරයේ සිට 46 වැනි පන්දුවාරය තෙක් ඇන්ජලෝ මැතිවුස්ට අනගි සහයක් ලබාදුන් දසුන් ශානක පන්දු 14කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 30 ක් රැස් කිරීමට සමත් වූයේ ප්‍රදර්ශනාත්මක පිතිහරඹයක නිරත වෙමිනි.

දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිවුස් අද දිනයේද සිව්වන කඩුල්ල සඳහා ලකුණු 101 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කළේය. සෞම්‍ය සකර්ගේ පන්දුවක් හමුවේ සබීර් රෙහ්මාන්ගේ අතට උඩපන්දුවක් ලබා දීම නිසා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 54 කට සීමා විය. ඔහු දැවී යනවිට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

දෙවැනි එක්දින තරගයට හාත්පසින්ම වෙනස් කණ්ඩායමක් සමගින් තරගයට ප්‍රවිෂ්ඨ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක කඩුල්ල සඳහා ගොඩ නැංවිය හැකි වූයේ ලකුණු 13ක් පමණි. දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය වෙත රැගෙන යමින් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ අවිශ්ක ප්‍රනාන්දුට මෙම තරගයේදී රැස්කර ගතහැකි වූයේ ලකුණු 6ක් පමණි. අවිශ්කගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ජීවයක් ලබා දුන්හ.

දිමුත් කරුණාරත්න පන්දු 60කදී ලකුණු 46ක් සමගින් සිය අර්ධ ශතකය පෙනී පෙනී තිබියදී අපරික්ෂාකාරී පහරකට යොමු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්යඩාමේ දෙවැනි කඩුල්ලද බිද වැටුණි. දිමුත් පිටියෙන් ඉවත් කොට නොබෝ වේලාවක් යාමට මත්තෙන් කුසල් ජනිත් පෙරේරා ද නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බංග්ලදේශ පන්දු යවන්නෝ සමත් වූහ. කුසල් ජනිත් පෙරේරා දැවී යනවිට පන්දු 51 කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී සෞම්‍ය සකාර් ලකුණු 56 කට කඩුලු 3ක් සහ ෂයිෆුල් ඉස්ලාම් ලකුණු 68කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

 ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 294

( දිමුත් කරුණාරත්න 46, කුසල් පෙරේරා 42, කුසල් මෙන්ඩිස් 54, ඇන්ජලෝ මැතිවුස් 87, දසුන් ශානක 30, සෞම්ෂ‍ය සකර් 56/3, ෂයිෆුල් ඉස්ලාම් 68/3 )

බංග්ලාදේශ කණ්ඩායම – පන්දුවාර 36කදී සියලු දෙනා දැවී ලකුණු 172

( සෞම්‍ය සකර් 69, ටජියුල් ඉස්ලාම්  39, දසුන් ශානක 27/3, ලහිරු කුමාර 26/2 , කසුන් රාජිත 17/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.