තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනියි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද ( 28 ) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 කින් තරගාවලිය ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සිය මව්බිමේදී එක්දින තරගාවලියක් ජයගැනීමට සමත් වූයේ 2015 වසරින් පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියක් සිය මව්බිමේදී ජය ගැනීමට වසර 3කුත් මාස 8 ක කාලයක් බලා සිටීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 239ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සදහා පන්දු 70 දී ලකුණු 71 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. එම ලකුණු 71න් ලකුණු 48ක්ම රැස් කිරීමට සමත් වූයේ යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු විසිනි. දිමුත් කරුණාරත්නගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු යළිත් ලකුණු 58ක සබඳතාවයක් ගොඩ නගමින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරන්නට වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක පුනාන්දු පන්දු 75කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමගින් ලකුණු 80 ක් රැස්කර ගෙන සිටියදී මුස්ටෆිසුර් රහ්මාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. පළමු එක්දින තරගයේදී ශතකයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරාට මෙම තරගයේදී ලබාගත හැකි වූයේ ලකුණු 30ක් පමණි.

අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා එක්ව ගොඩ නැගූ ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය තෙක් රැගෙන ගිය  කුසල් මෙන්ඩිස් ( නොදැවී 41) සහ ඇන්ජලෝ මැතිවුස් ( නොදැවී 52 ) රැස් කිරීමට සමත් වූහ.

තමීම් ඉක්බාල් පන්දු යවන්නන් 7 දෙනෙකු උපයෝගී කර ගනිමින් තරගයට ප්‍රවිශ්ට වුවද ඔවුන්ට ශ්‍රී ලංකා ඉනිමේ බිද හෙළිය හැකි වූයේ කඩුලු 3ක් පමණි. එහිදී මුස්ටෆිසූර් රහිමාන් ලකුණු 50 කට කඩුලු 2 ක් බිද හෙලීමට සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 238ක් රැස් කිරීමට සමත් විය.

බංග්ලාදේශ ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක තමීම් ඉක්බාල් සහ සෞම්‍ය සකාර්ට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් නුවන් ප්‍රදීප් ලකුණු 11 ක් ලබා සිටි සෞම්‍ය සකාර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමත් සමග බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේය.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල දැවී ලකුණු 05ක් යාමටත් මත්තෙන් දෙවැනි කඩුල්ල ද උදුරාගත් ඉසුරු උදාන, ලකුණු 19ක් ලබා සිටි නායක තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

පළමු එක්දින තරගයේදී ලකුණු 60ක් ලබා ගනිමින් බංග්ලදේශ ඉනිම ශක්තිමත් කළ සබීර් රහ්මන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූයේ බංග්ලදේශයට පස්වන කඩුල්ල ද අහිමි කරමිනි.

බංග්ලාදේශ ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 88ක් තුළ දැවීගොස් තිබියදී මුෂ්ෆිකර් රහීම් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් අටවන පිතිකරුවා ලෙස පිටියට පිවිසි මෙහිදි හසන් සමග ලකුණු 84ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් කඩා වැටී තිබූ බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළහ. මෙහිදි හසන්, ලකුණු වැඩි කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව දැවැන්ත පහරකට යොමුවීම හේතුවෙන් නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ලකුණු 43ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් වීමට සිදුවිය. අවසන් පන්දුවාරය තෙක් කඩුල්ලේ රැදී මුෂ්ෆිකර් රහීම් පන්දු 110දී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 98ක් රැස් කිරීමට සමත් විය.

මෙම වසරේ මාර්තු මාසයෙන් පසු යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි අකිල ධනංජය ලකුණු 39කට කඩුලු 2ක් සහ තිසර පෙරේරා වෙනුවට කණ්ඩායමට එක්කළ ඉසුරු උදාන ලකුණු 58 කට කඩුලු 2 ක් බැගින් බිද හෙලීමට සමත් වූහ.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 238

( තමීම් ඉක්බාල් 19, මුෂ්ෆිකර් රහීම්  නොදැවී 98, මෙහිදි හසන් 43, අකිල ධනංජය 39/2, ඉසුරු උදාන 58/2 )

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 44.4කදී කඩුලු 3කට ලකුණු 242

( දිමුත් කරුණාරත්න 15, අවිශ්ක ප්‍රනාන්දු 82, කුසල් ජනිත් පෙරේරා 30, කුසල් මෙන්ඩිස් නොදැවී 41, ඇන්ජලෝ මැතිවුස් නොදැවී 52

ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරෙනි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.