මැත්වුස්ගෙන්, ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක් !

තමන් ඉතාමත් ඉක්මනින් පන්දු යැවීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස දහ අටකට පසුව යැවූ පළමු පන්දුවේදීම අවශ්‍ය කඩුල්ල දවා ගැනීමට තමන්ට හැකි වීම ගැන සතුටු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

මාස දහ අටකින් පසුව යැවූ පළමු පන්දුවේදීම පූරන් දවාගන්න හැකි වුණා. මම පුහුණු තරග වලදීත් මීට පෙර පන්දු යවලා තිබුණේ නැහැ. තරගයේ අවස්ථාව අනුව පන්දු වාර දෙකක් යවන්න වුණා. මම නායකයාට කිව්වා මම ඒ පන්දුවාර දෙක දාන්නම් කියලා. ඇන්ජලෝ මැතිවුස් සිය ජයග්‍රහණයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ ප්‍රකාශ කර තිබුණි.

මමයි, දිමුතුයි දිගටම කථා වෙවී හිටියා පන්දු වාර දෙකක් හදන්න තියෙනවා කියලා. පන්දු වාර 40න් පසුව අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ දඟ පන්දු යවන්නා ගේන්න. මොකද නිකලස් පූරාන් හොඳට පන්දුවට පහර දෙමින් සිටියා. මම දැක්කා දිමුත් පන්දු යවන්න කාවහරි සොයමින් ඉන්නවා. මම දිමුත්ට කිව්වා මම දාලා දෙන්නම් කියලා ඒ පන්දු වාර දෙක.

අපි පුළුවන් තරම් ලසිත් මාලිංගගෙන් සහ ඉසුරු උදානගෙන් එයාව දවාගන්න බලමු කියලත් මම කිව්වා. බැරි වුණොත් 48 සහ 50 යන පන්දු වාර මම දාලා දෙන්නම් කියලා මම කිව්වා. ඔහුටත් එය සහයෝගයක් වුණා. නමුත් මම ටිකක් චකිතයකින් පන්දු යැව්වේ.

මම ක්‍රිකට්වල සියලුම මාදිලියේ තරගවල පන්දු යවලා තියෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවලත් පන්දු යවලා තියෙනවා. මම දැනගෙන හිටියා මේ අවස්ථාවේදී මට පන්දු යවලා දෙයක් කරන්න පුළුවන් කියලා.

මගේ අත්දැකීම් එතනදි වැදගත් වුණා. මට දාන්නම ඕන තැනට පන්දුව දාගන්න පුළුවන් වුණා. පන්දුව කොතනටද දාන්න ඕන කියන අදහස මට තිබුණා. පූරන් ඉතිරි පන්දු වාර තුනත් පන්දුවට පහර දුන්නා නම් තරගයේ කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.

ආබාධයෙන් පසුව අවාසනාවකට මට පන්දු යැවීම ආරම්භ කරන්න බැරි වුණා. පන්දු යැවීමට ශරීරය සුදුසු තත්ත්වයක නොතිබුණු නිසා ලෝක කුසලානයට පෙර හෝ මට පන්දු යැවීම ආරම්භ කරන්න බැරි වුණා. මම ඉතාමත් ඉක්මනට පන්දු යැවීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.