දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් නවසීලන්තය අපරාජිතව පෙරමුණ ගනියි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 25 වැනි තරගය ලෙස පැවැති දකුණු අප්‍රිකා නවසීලන්ත තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම අද ( 08 ) සමත් විය. ඒ අනුව මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ප්‍රසාද ලකුණු සටහනේ ( ලකුණු 09 ) පෙරමුණ ගැනීමට  නවසීලන්තයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 243 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දුවාර 48.3  කදී කඩුලු 6 ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය. නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ කේන් විලියම්සන් පන්දු 138කදී  හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගින් නොදැවි ලකුණු 106 රැස් කිරීමට සමත් වූයේ නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවාගෙන යමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් කෝලින් ද ග්‍රෑන්ඩ්හෝම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් රැස් කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මාටින් ගප්ටිල් තමන්ගේම පාදය කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට රැස්කරගෙන සිටි ලකුණු  සංඛ්‍යාව 35 කි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී ක්‍රිස් මොරිස් ලකුණු 49කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ක්‍රිකට් දිවියට සමු දීමට සැරසෙන ඉම්රාන් තහීර්ට මෙම තරගයේදී එකදු කඩුල්ලක්වත් දවා ලීමට අවස්ථාවක් හිමි නොවූ අතර ඔහුගේ පන්දුවාරයන් අතරවාරයේ උඩපන්දු කිහිපයක්ම ලබාදුන්නද එයද රැක ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු රකින්නෝ අසමත් වීම නිසා තරගයේ අවසන් බලාපොරොත්තුවද ඔවුන්ගෙන් ගිලිහි ගියේය. දකුණු අප්‍රිකාව දුර්වල පන්දු රැකීමේ රටාවක් පෙන්නුම් කිරීම නිසාවෙන් පහසුවෙන්ම ජය ගැනීමට තිබූ තරගයක් අවසානයේ නවසීලන්තයේ ජය්‍රහණයක් බවට පරිවර්ථනය වනු දැක ගැනීමට හැකි විය.

මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය පිළිබදව බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් දකුණු අප්‍රිකාවට මෙම තරගය ඇතුලුව ඉදිරි තරග 03ම  ජය ගැනීමට යුතුව තිබිණි. මේ හේතුවෙන් දකුණු අප්‍රිකාවේ මෙවර ලෝක කුසලාන සිහිනයද බොඳ  වී යන ලද්දේ ඔවුන් මෙතෙක් සහභාගී වූ තරග 6න් තරග 4ක්ම පරාජය වීමට සිදුවීමත් සමගය. ඔවුන්ට ජය ගැනීමට හැකිවූයේ එක් තරගයක් පමණි.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඉනිම ඇරඹූ ක්වින්ටන් ඩි කොක් සහ හෂීම් අම්ලාට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාවක් හිමි නොවූහ. ඩි කොක් ගේ දැවී යාමෙන් පසු පිටියේ එක්වූ නායක ෆෆ් ඩු ප්ලෙසිස් හා හෂීම් අම්ලා දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 50ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වූ රසී වැන්ඩර් ඩුසේන් පන්දු 64 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ලොකී ෆර්ගිවුසන් ලකුණු 59කට කඩුලු 3ක් බිද හෙලීය.

ඡායාරූප – ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙනි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.