20-20 පළමු තරගය පාකිස්තාන කාන්තා පිල කඩුල්ලකින් ජයගනී

ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර එස්. එස්. සී පිටියේ බදාදා (28) පැවැති කාන්තා 20-20 තියුණු තරගයකින් පසු පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුල්ලක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 129ට පිළිතුරු ලෙස පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 19.5කදී කඩුලු 9කට ලකුණු 133ක් ලබා මේ තියුණු ජයග්‍රහණය ලැබීය.  ඕවර පනහ සීමිත ඕවර තරග පරාජයට පත්වූ ආකාරය හා සසඳන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ තරගයේදී දක්ෂ ලෙස ක්‍රීඩාකළ විලාශයක් දක්නට ලැබිණි.

ලකුණු 130ක ඉලක්කයක් හඹායාමට පාකිස්තාන ක්‍රීඩිකාවන් පිටියට පිවිසි අවස්ථාවේ ඕවර 3.3කදී ලකුණු 19ට කඩුලු 2ක් දැවී යද්දී බිස්මා මාරූෆ් (ලකුණු 42යි පන්දු 31යි හතරේ හයයි) සහ ජවෙරියා කාන් (ලකුණු 52යි පන්දු 36යි හතරේ අටයි) තෙවන කඩුල්ලට ලකුණු 60ක් රැස්කරමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ආහ.  19 වන ඕවරය නිමවන පාකිස්තානය කඩුලු 9කට ලකුණු 127ක් ලැබීය.  බී. එම්. කුමාරි ලකුණු 23කට කඩුලු තුනක් දවාලීමට සමත්වූවාය.

පාකිස්තාන කාන්තා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය.  ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 8.3ක් වන විට කඩුලු පහක්ම දැවී ලබාසිටියේ ලකුණු 38ක් පමණෙකි.  ශ්‍රී ලංකා හයවන කඩුල්ලට එම්. එම්. සංජීවනී සහ එන්. එන්. ද සිල්වා (35) ඕවර 11.2කදී (පන්දු 68කදී) ලකුණු 84ක් රැස්කරමින් ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.

සංජීවනී පන්දු 58කදී හතරේ අටක් සමග ලකුණු 61ක්ද එන්. එන්. ද සිල්වා පන්දු 34කදී හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 35ක්ද රැස් කළහ.  මොවුන් දෙදෙනාගේ සබඳතාවයට අමතරව ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාව ආරම්භක කඩුල්ලට සංජීවනී සහ චමරී අතපත්තු (ලකුණු 10යි පන්දු 13යි හතරේ 2යි) එක්කළ ලකුණු 18ය.

ආරම්භක පිතිකාරිණිය සංජීවනී පළමු ඕවරයේ පළමු ඕවරයේ පළමු පන්දුවේ සිට කඩුල්ලේ රැඳී දැවී ගියේ 19.5 වන පන්දුවේ දීය.  සංජීවනි, චමරී සහ එන් ද සිල්වා අමතරව කිසිදු පිතිකාරිණියකට ලකුණු දහයේ සීමාව ඉක්මවීමට හැකි නොවීය.  ජී. පෙරේරා (00) එච්. මෙන්ඩිස් (00) ආර්. වැන්ඩට් (05) එස්. සිරිවර්ධන (02) කේ. කාංචනා නොදැවී (00) ඉතා අඩු සංඛ්‍යාවන්ට දැවී ගියහ.  සානමිර් 25ට 2ක්ද ඩයනා බෙග් 18ට 2ක්ද දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ –

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.