අකිල, පළමු දිනයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හරවා දෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ( 14 )  ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයට තේ පානයෙන් පසු වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග පළමු දිනට තවත් පන්දුවාර 22ක් ඉතිරිව තිබියදී තරගය නතර කිරීමට තරග විනිසුරවරුන්ට සිදුවිය.  ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින  නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියේය.

රොස් ටේලර් ( නොදැවී ලකුණු 86 ) සහ මිචෙල් සැන්ටර් ( නොදැවී ලකුණු 8 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

තේ පානයෙන් පසු තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග අවසන් කාර්තුවේදී ක්‍රියාත්මක කළ හැකි වූයේ පන්දුවාර 8ක් පමණි.

දිවා ආහරය සදහා තරගය නතර කරන විට කඩුලු 3ක් අහිමි කරගෙන සිටි නවසීලන්ත ඉනිමෙන් තවත් කඩුලු 2ක් උදුරාත් අකිල ධනංජය, තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසියක් අත්කර දුන්නේය. තරග තහනමෙන් පසු ටෙස්ට් පිටියට පිවිසි  අකිල ධනංජය නැවතත් ඔහුගේ සුපුරුදු රිද්මය සොයන ආකාරයක් අපිට අද තරගය ආරම්භයේ සිටිම දැක ගැනීමට හැකි විය.

මේ වනවිට නවසීලන්ත පිතිකරුවන්ට හිසරදයක් බවට පත්ව සිටින අකිලගේ පන්දු යැවීම ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් බවට පත්වී ඇත. අකිල ධනංජය මෙතෙක් ක්‍රීඩාකර ඇත්තේ , ටෙස්ට් තරග 6ක් පමණක් වන අතර එම තරග 6 තුළදී කඩුලු 5 අවස්ථා 4ක් බිද හෙලීමට ඔහු සමත්ව තිබීම ශ්‍රී ලංකාව අතින් සතුටු දායක කරුණකි.

නවසීලන්ත ඉනිමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 71ක් තුළදී පිටියෙන් ඉවත් කරමින් අකිල ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට නිවි සැනසිල්ලේ දිවා ආහාරය ගැනීමට අවශ්‍ය අඩිතාලම සලසා දුන්නේය. එහෙත් ඉන් අනතුරුව පිටියේ එක් වූ රොස් ටේලර් හා හෙන්රි නිකලස් කඩා වැටී තිබූ නවසීලන්ත ඉනිම ඉහළට ඔසවා තබමින් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 100 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. ලකුණු 42ක් ලබා සිටියදි හෙන්රි නිකලස් පිටියෙන් ඉවත් කිරීමට අකිල ධනංජය සමත් වූයේ රොස් ටේලර් නැවතත් අනිත් අන්තයේ තනි කරමිනි. නිකලස්ගේ  දැවී යාමෙන් පසු පිටියට පිවිසි බී ජේ වැට්ලින් ද පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදුන් අකිල, තේ පානයට පෙර යැවූ අවසන් පන්දුවෙන්ම ඔහුද දවා ගැනීමට සමත් වූයේ ගාලු පිටියේ ප්‍රදර්ශනාත්මක පන්දු යැවිමක නිරත වෙමිනි.

නායක කේන් විලියම්සන් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව තමන් සතුකර ගත්තේ , තරගයේ වැඩි වාසියක් අත්කර ගැනීමේ අදිටනින් යුතුවය. එහෙත් එයට අකිල ධනංජයගේ ආගමනයත් සමගින් එතරම් පහසු කරුණක් බවට පත් නොවීය.  නවසීලන්ත ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ටොම් ලේතන් හා ජිට් රාවෙල්ට ආරම්භ කඩුල්ල සඳහා ගොඩ නැංවිය හැකිවූයේ  ලකුණු 64ක සබඳතාවයක් පමණි. අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ ටොම් ලේතන් ලකුණු 30 කට දැවී යද්දී, නායක කේන් විලියම්සන්ට සිය පළමු ඉනිමේදී එකදු ලකුණක්වත් රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පන්දු යවන්නන් 5 දෙනාම උපයෝගි කර ගනු ලැබුවද අකිල ධනංජය හැරෙන්නට වෙනත් කිසිදු පන්දු යවන්නෙකුට එකදු කඩුල්ලක් දවා ගැනීමට අවස්ථවක් හිමි නොවීය.

නවසීලන්ත පළමු ඉනිම (පළමු දිනට තරගය නතර කරන විට ) – පන්දුවාර 68කදී කඩුලු 5කට ලකුණු 203

( ජිට් රාවල් 33, ටොම් ලේත්න් 30 , හෙන්රි නිකලස් 42, රොස් ටේලර් නොදැවී 86, මිචෙල් සැන්ටර් නොදැවී 08,  අකිල ධනංජය 57/5 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.