සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සහ තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ මස 14 වැනිදායින් ආරම්භ වීමට නියමිතය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් කරළියට හදුන්වා දෙන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය මුහුණ දෙන පළමු තරගාවලියද මෙය වේ.
තරගාවලිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත මේසේ අදහස් පළ කළේය.
“ නවසීලන්ත කණ්ඩායම මම අපේ රටට සාධරයෙන් පිළිගන්නවා. නවසීලන්තය කියන්නේ ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරතාව දිනා ගත්තා කණ්ඩායම. අපි අපේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලිය හා එක්දින තරගාවලිය ඉතාමත් හොඳින් අවසන් කළා. ඒක නිසා ප්‍රේක්ෂකයින්ට ඉතාමත් හොඳ ක්‍රිකට් තරගාවලියක් නරඹන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා. “
නායක දිමුත් කරුණාරත්න 22 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය පිළිබදව ද වැඩිදුරටත් අදහස් දැක්වීය.
“ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඇන්ජලෝ මැතිවුස් සහබාගී නොවුනේ ඔහුගේ ආබාධ තත්වය නිසා. නමුත් ඔහු නැවතත් කණ්ඩායමට එක් වෙලා ඉන්නවා. නමුත් චන්දිමාල්ට දකුණු අප්‍රිකානු සංචාරයේ සෙල්ලම් කරන්න අවස්ථාවක් හිමි වුණේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවට එම තරගාවලියේදී ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ආදේශ කලා. ඔවුන් හොදට කලා ඒ දකුණු අප්‍රිකා සංචාරයේදී. ඒ නිසා අපි මුලින්ම බලන්න ඕන අපිට මොන වගේ විකට් එකක් ද ලැබෙන්නේ කියලා. ඉතින් අපි ඒ දේවල් සලකා බලලා අන්තිම 15 තෝරා ගන්න බලනවා. චන්දිමාල් කණ්ඩායමට එනවනම් ඔහු එන්න ඕන විකට් කීප කෙනෙක් විදියට තමයි. ඒ නිසා අවසන් 15 තවම තෝරාගෙන නැති නිසා ඒ වගේ වෙනස්කම් කිහිපයක් වෙයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය මීට වසර 37ක සිට පැවැත එන්නකි. එනම් 1982 වසරේ ආරම්භ වූ දෙරට අතර සහෝදරත්වය හේතුවෙන් මේ වනවිට තරග 34කදී එකිනෙකා හමුවී තිබේ. එයින් තරග 15ක ජය නවසීලන්තය සතු වෙද්දී, ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 8ක් පමණි. මෙවර ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ද මෙහිදි අදහස් පළ කලේය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක්, ඔවුන්ගේ රටට ඇවිල්ලා, ඔවුන් එක්ක ක්‍රීඩා කරන එක පහසු නැහැ. ආසියාතික තණතීරු දඟපන්දු යවන්නන්ට හිතකර නිසා අපි දඟපන්දු යවන්නට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන්න අවශ්‍යයි. අපිට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා කියලා මම හිතනවා.
තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ අද (7) කොළඹ ටාජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි සිල්වා මහතා ඇතුළු අනුග්‍රාහකත්වය දක්වනු ලබන DFCC බැංකුවේ නිලධාරි මහත්ම මහත්මීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු
නවසීලන්ත ටෙස්ට් සංචිතය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී.ජේ වොට්ලින්, ටොම් බ්ලන්ඩල්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්ටනර්, ටොඩ් ඇස්ටල්, ටිම් සවුති , විල් යන්ග්, නීල් වැග්නර්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්
තරග කාල සටහන
- අගෝ – 08 – 10: තෙදින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
- අගෝ – 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
- අගෝ- 22 – 26: දෙවැනි ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
- අගෝ – 29: විස්සයි 20 පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
- සැප් – 01 : පළමු විස්සයි 20 තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
- සැප් – 03: දෙවැනි විස්සයි 20 තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
- සැප් – 06 – තෙවැනි විස්සයි 20 තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

Be the first to comment