ස්මිත්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාවට සැනසිල්ලක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය  අද ( 01) එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ විය. ඒ, සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයත් සමගිනි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 284 ක් පමණි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම පළමු දිනට තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 10 ක් ලබා සිටියේය. රොරි බර්න්ස් ( නොදැවී ලකුණු 4 ) හා ජේසන් රෝයි ( නොදැවී ලකුණු 6 ) ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 112කට කඩුලු 7ක් බිද වැටී ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසරණ වී සිටි මොහොතේ සිය කණ්ඩායමට බලාපොරොත්තුවක් ගෙනදුන් ඕස්ට්‍රේලියා හිටපු නායක  ස්ටිව් ස්මිත් ලකුණු 144ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර තරගාවලියේ පළමු ශතකය මෙන්ම අළු බඳුන ක්‍රිකට් තරගාවලියක තමන් ලැබූ 8 වැනි ශතකයද තමන්ගේ නම ඉදිරියේ ලියා ගනිමිනි. ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස පිටියෙන් ඉවත්ව යන විට ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් ඇතුළත් විය. ඒ අනුව අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක 24ක් රුස්කළ පිතිකරුවන් අතර දෙවැනි තැන පසුවූ ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි තෙවැනි තැනට ඇද දමමින් ස්ටිව් ස්මිත් දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. මේ සඳහා ඔහුට වැය වූයේ ටෙස්ට් ඉනිම් 118 ක් පමණී. මෙහි පෙරමුණේ පසුවන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක දොන් බ්‍රැඩ්මන්ය.

ස්මිත් ශතකය ලබා ගැනීමටත් පෙරාතුවම පිටියට පිවිසි පීටර් සිඩෙල් සිය අන්තය ආරක්ෂා කරගනිමින් ස්මිත් සමග ලකුණු 88ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූයේ කණ්ඩායමට අවශ්‍යම මොහොතේ සිය පිත්තෙන් දායකත්වය ලබා දෙමිනි. ඔහු ලකුණු 44ක් ලබා සිටියදී මොයින් අලීගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. එවිට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 9කට ලකුණු 210 වශයෙනි.

ස්ඩෙල්ගේ දැවී යාමෙන් පසු අවසන් පිතිකරුවා ලෙස පිටිය පිවිසි නේතන් ලයන් ද තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින්  ස්මිත්ට ලකුණු වැඩි කිරීමට අවස්ථාවට ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 10 වැනි කඩුල්ල සඳහා පන්දු 80 කදී ලකුණු 74ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට ඔවූහූ සමත් වූහ. එම ලකුණු 74න් ලකුණු 59ක්ම තමන්ගේ ගිණුමට එකතු කරගත් ස්ටිව් ස්මිත් එංගලන්ත පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරන්නට වූහ.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10ක් ලබා ගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළ ස්ටුවඩ් බ්‍රෝඩ් හා ක්‍රිස් වෝක්ස් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නද, ස්මිත්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එය ක්‍රමයෙන් පහව ගියේය. ඒ අනුව පළමු දිනයේ අවසන් සැසි වාරයේදී එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයකට නතු වීමට සිදු විය.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කැමරන් බ්‍රැන්කොෆ්ට්ට සහ ඩේවිඩ් වෝනර්ට කිසිසේත් පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් ලබා නොදුන් ස්ටුවඩ් බ්‍රෝඩ් ලකුණු 2ක් ලබාසිටි ඩේව්ඩ් වෝනර් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඉන් නොනැවතුනු බ්‍රෝඩ් , තරග තහනමට ලක්ව සිට යළිත් ටෙස්ට් පිටියට පැමිණි කැමරන් බ්‍රැන්කොෆ් ද ලකුණු 8ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් කළේය. නායක ටිම් පේන් ( 05 ) හා උස්මාන් කවාජාටද ( 13 ) දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්ටුවඩ් බ්‍රොඩ් ලකුණු 86කට කඩුලු 5ක් සහ ක්‍රිස් වෝක්ස් ලකුණු 58කට කඩුලු 3 බැගින් බිද හෙලූහ. ස්ටුවඩ් බ්‍රෝඩ් ඉනිමකදී කඩුලු 5 බැගින් බිද හෙලූ 16 වැනි අවස්ථාව බවට එය පත්විය.

හෙට ( 02 ) තරගයේ දෙවැනි දිනයයි.

එංගලන්ත පළමු ඉනිම – පන්දුවාර 2 කදී කිසිවෙකු නොදැවී ලකුණු 10

( රොරි බර්න්ස් නොදැවී 4, ජේසන් රෝයි නොදැවි 06 )

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – පන්දුවාර 80.4කදී සියලු දෙනා දැවී ලකුණු 284

( ස්ටිව් ස්මිත් 144, ට්‍රැවිස් හෙඩ් 35, පීටර් සිඩෙල් 44, නේතන් ලයන් නොදැවී 12, ස්ටුවඩ් බ්‍රෝඩ් 86/5, ක්‍රිස් වෝක්ස් 58/3 )

සියලු තොරතුරු www.srilankasports.com ඇසුරෙන් බලාපොරොත්තු වන්න.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.